Blog

කාබනික ගොවිතැන ජයගත් සිකීම් සහ භූතානයේ කතාව


කාබනික ගොවිතැන ජයගත් සිකීම් සහ භූතානයේ කතාව

සිකිම් කියන ප්‍රදේශය පිහිටල තියෙන්නෙ ඊසානදිග ඉන්දියාව, භූතානය, ටිබෙට් සහ නේපාලය මායිම් කරගෙනයි.සිකිම් කියන්නෙ හිමාල කඳුවැටියේ කොටසක් වගේම, මේ ප්‍රදේශය  වනාන්තර, තණබිම් සහ කඳු බෑවුම් බහුල ඉතාම සංවේදී  පරිසර පද්ධතියෙන් සමන්විත වෙනවා. ඔවුන් ගොවිතැන වෙනුවෙන් යොදාගෙන තියෙන්නෙ සම්පූර්ණ භූමියෙන් 10% ක් (හෙක්ටයාර් 75,000) වගේ ප්‍රමාණයක් විතරයි.

රජයේ පෙරදැක්ම

2004 දී ඉදිරිපත් කරපු කාබනික ගොවිතැන පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ඔවුන්ගේ මේ කාබනික ගොවිතැන් ක්‍රියාදාමයේ හැරවුම් ලක්ෂයක් වුණා.2010 දී සිකිම් කාබනික මෙහෙවර  වෙනුවෙන් ඔවුන් රන් සම්මානයක් දිනාගන්න සමත් වුණා. ඒ වෙනුවෙන්ම හදපු අලුත්ම ප්‍රතිපත්ති 50 අනුගමනය කරලා ලෝකයේ  පළවෙනි  වතාවට 100%ක්ම කාබනික ගොවිතැන ක්‍රියාත්මක වෙන ප්‍රදේශය බවට පත්වෙන්න ඔවුන්ට හැකියාව ලැබුණා.මේ ප්‍රදේශයේ තියෙන හැම  ගොවිබිමක්ම සීයට සීයක් කාබනිකයි කියල සහතික කරල තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත්  100%ක්ම කාබනික ගොවිතැන් ක්‍රමයට මාරුවීමත් එක්ක ගොවි පවුල් 66,000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ ලැබෙන්න පටන් අරන් තියෙනවා.

ඉතිහාසයෙන් පාඩම්

දැන් ඔවුන් නැඹුරුවෙලා ඉන්න මේ කාබනික ගොවිතැන සිකිම් ප්‍රදේශයේ සාම්ප්‍රදායික  ගොවිතැනට වැඩියෙන්ම නෑකම් කියන කෘෂිකාර්මික ක්‍රමය විදියට සලකන්න පුළුවන්. මේකෙ විශේෂත්වය වෙන්නෙ බෝගවලට බාහිරින් යොදන යෙදවුම් ඉතාම අවම මට්ටමකට පත්වෙන එක.කිසිම දෙයක් බාහිරින් යොදන්නෙ නැතුව කෙරෙන බෝගවගාවනුත් තියෙනවා.ඔවුන්ගේ කාබනික ගොවිබිම් අවුරුද්දෙ වැඩිකාලයක්ම ස්වභාවිකවම ලැබෙන වැසි වලින් පෝෂණය වෙනවා.

කාබනික ගොවිතැනෙනුත් එහාට

කොහොමවුණත්, සිකිම් ප්‍රදේශයේ මේ විප්ලවීය ප්‍රවේශය හුදෙක්ම කාබනික  නිෂ්පාදනය කෙරෙහි පමණක් අවධානය යොමු කරන එකක් නෙවෙයි.කාබනික ආහාර නිෂ්පාදනයත් එක්කම, ස්ථිරසාර පරිභෝජනය සහ වෙළඳපල ව්‍යාප්තිය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ග්‍රාමීය සංවර්ධනය සහ තිරසාර සංචාරක කටයුතු ගැනත් මේ කාබනික ප්‍රතිපත්තිය අනුව යන ගමන්ම අවධානය යොමු කරනවා. ඒ හින්දම තම තමන්ගේ රටවල් සහ පළාත්වල ,කෘෂිකාර්මික නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ මට්ටමකට අරගෙන එන්න කැපවෙලා ක්‍රියාකරන්න සැලසුම් කරමින් ඉන්න අනෙකුත් ඉන්දියානු ප්‍රාන්ත වලට වගේම ලෝකය පුරා වෙනත් රටවල් සඳහාත්, සිකිම් ප්‍රදේශයෙන් සපයන්නෙ විශිෂ්ට ආදර්ශයක්.

සැලසුම්

සිකිම් ප්‍රදේශය ඉන්දියානු ජනරජයේ පළවෙනි කාබනික ප්‍රාන්ත රාජ්‍ය බවට පත්වීමේ දැක්ම මුලින්ම ප්‍රකාශයට පත් කළේ 2003 වර්ෂයේදි.ඒ  සිකිම් ප්‍රන්තයේ මහ ඇමති පවන් චංලිං විසින්. මුළු සිකිම් ප්‍රාන්තයම කාබනික ක්‍රියාකාරකම් මත පදනම් වුණ එකක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය කරා ළඟාවෙන්න  ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙලා තිබුණ ක්‍රියාමාර්ග රජය විසින් නිර්වචනය කරනු ලැබුවා.ඒ ඇසුරෙන් ගොඩනගපු  ක්‍රියාකාරී සැලැස්මක් වන “කාබනික මෙහෙවර” කියන සැලැස්ම 2010 දී ප්‍රාන්ත රජය විසින් දියත් කළා. වෙන රටවල්වල වගේ නැතුව,සැලැස්ම ක්‍රියාත්මක වෙනකම් සහ ඒ තිබුණ ඉලක්ක සහ දැක්මවල් යථාර්ථයක් වෙනකම්ම රජය මේ සැලැස්ම ක්‍රියාකාරීව අධීක්ෂණය කළා.ඒ හැම දෙනාගෙන කැපවීමෙ ප්‍රතිඵලයක් විදියට 2015 දී සිකිම් ප්‍රාන්තය ලෝකයේ පලවෙනි කාබනික රාජ්‍යය විදියට ප්‍රකාශයට පත්වුණා. රාජ්‍යයක් හරි ප්‍රාන්ත රාජ්‍යක් හරි ඒ වගේ  අභිලාෂකාමී දැක්මක් ඇති කරගෙන දීර්ග කාලීනව ඒ වෙනුවෙන් වැඩකරල තමන්ගෙ ඉලක්කය සාක්ෂාත් කරගත්ත, ඉතිහාසයේ පළවෙනි අවස්ථාව විදියටයි බොහෝදෙනා මේක හඳුන්වන්නෙ.

වැදගත්ම දේ වෙන්නේ මනාව නිර්වචනය කරපු  ඉලක්ක සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් එක්ක  ප්‍රාන්ත රජය ශක්තිමත් දේශපාලමය අධිෂ්ඨානයක් වගේම ප්‍රතිපත්තිමය සහයෝගීතාවයක් පෙන්නුම් කරපු එක. මේ ප්‍රතිපත්තිය මගින් රසායනික පොහොර සහ පළිබෝධනාශක ක්‍රමයෙන් තහනම් කරන්න ඔවුන් පෙළඹුණා.ඊට කලින් බෝග වර්ග වෙනුවෙන් අනිවාරෙන් අවශ්‍ය වුණ මේ වගේ දේවල් ටිකෙන් ටික කාබනික පැත්තට පරිවර්තනය කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා.ඒකට සමස්ත සිකිම් ප්‍රාන්ත ආහාර පද්ධතියේ පරිපූර්ණ පරිවර්තනයක් ගොඩනැගීම  වෙනුවෙන් ජනතාවගෙන් ලැබුණ සහාය සහ දිරිගැන්වීමත් සෑහෙන්න බලපෑවා.

සහතිකලත් කාබනික ගොවිතැන

කාබනික නිෂ්පාදන සහතික කිරීම මේ පරිවර්තනයේ තීරණාත්මක අංගයක් වුණා.  2010 සහ 2014 අතර ප්‍රාන්ත අයවැයෙන් 80% ක්ම ගොවීන්ගේ, ග්‍රාමීය සේවා සපයන්නන්ගේ සහ සහතික කිරීමේ ආයතනවල ධාරිතාවය වැඩිකරවල ගොඩනංවන්නත්, සහතිකය ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ සෛද්ධාන්තික දැනුම ලබාදීලා ගොවීන්ට සහාය වෙන්නටත් වෙන්කරල තිබුණා.මේකට සමගාමීවම දේශීය කාබනික බීජ සංවර්ධනය කරන්නත්,දේශීය කෘෂි හා අනෙකුත් නිෂ්පාදනයන් ශක්තිමත් කරන්නත් ඒ වගේම වැඩිපුර ගුණාත්මක භාවයෙන් යුතු කාබනික බීජ ගොවීන්ට සපයන්නත් පියවර ගත්තා.

රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම

පාංශු සාරවත් බව වැඩි දියුණු කිරීම, ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ ක්ෂේත්‍ර හා භූ දර්ශන මට්ටමින් ජෛව විවිධත්වය ඉහළ නැංවීමත් මේ  කාබනික ප්‍රතිපත්තිය ඔස්සේ අවධානය යොමු කරපු තවත් අංශයක්. පාංශු සෞඛ්‍ය කළමනාකරණය වැඩිදියුණු කරන එක වෙනුවෙන් රජය විසින් වසරකට පාංශු ක්ෂේත්‍රයේ පරීක්ෂණ 40,000 ක් සිදු කරන්න ගොවීන්ට සහාය ලබා දුන්නා.ඒවායෙ ප්‍රතිඵල පාංශු සෞඛ්‍ය කාඩ්පත් ආකාරයෙන් ලබා දුන් අතර එමඟින් පාංශු ව්‍යුහයේ පෝෂක තත්ත්වය සහ යෙදවුම් ගැන  නිර්දේශ නිරන්තරයෙන්ම ලබා දුන්නා.

රසායනික පොහොර සහ වගාවන්ට යොදන වෙනත් කෘත්‍රිම දේවල් සඳහා තිබුණු සහනාධාර ක්‍රමයෙන් ඉවත් කිරීමත් මේ  කාබනික පරිවර්තනය වෙනුවෙන් පාවිච්චි කරපු එක ප්‍රධානම උපාය මාර්ගයක්.  මේ ප්‍රතිපත්තිය කාබනික පොහොර ප්‍රචලිත කිරීමත් එක්ක දක්ෂ විදියට ඒකාබද්ධ කරලා, දේශීය ශාක වගේම සාම්ප්‍රදායික උපක්‍රම භාවිත කරමින් කොම්පෝස්ට් වර්ග සහ කාබනික පළිබෝධනාශක වගේ කාබනික යෙදවුම් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක ගැන ගොවීන් පුහුණු කරන එකත් ඔවුන් ලඟාකරගත්තු ඉලක්කයක්.මේ කාබනික මෙහෙයුමේ පළවෙනි නියමු අදියරේදී  එනම් 2003 සහ 2009 අතර කාලයේදී ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හතරේම ගොවීන් 10,000 කට වඩා ඉන්න  ගම්මාන 100 කට වැඩි ප්‍රමාණයක මේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.ඒකෙන් සෑහෙන  ප්‍රතිලාභ ලබාගන්නත් ඔවුන් සමත්වුණා.

රසායනික පොහොර පාවිච්චියෙන් ඉවත් කිරීම වෙනුවෙන් කෙරුණු මෙහෙයුම  ක්‍රම  ක්‍රමයෙන් ඒත්  ස්ථිර විදියට  ක්‍රියාත්මක වුණා.ඇත්තෙන්ම ඒක රජය ගත්ත  එඩිතරම  තීරණයක්. අද වෙනකොට සිකීම් ප්‍රාන්තයෙ ගොවීන් සහ පුරවැසියන් හැමෝම වගේ කියන්නෙ රජයේ ඒ  ප්‍රතිපත්තිය ගැන තමන් ආඩම්බර වෙනව කියලයි. ඒ තීරණයට ඔවුන්ගේ සම්පූර්ණ දේශපාලනමය සහයෝගය ලබා දෙනව කියලත් ඔවුන් කියනවා.

 

සිකිම් නම්  ‘කාබනික වෙළඳ සන්නාමය’

මෙම ප්‍රතිපත්තිය ඔස්සේම යමින්,තවත් දිගුවක් විදියට ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කර ගන්නා මාර්ගයක් විදියට ‘සිකිම් කාබනික වෙළඳ සන්නාමයක්’ ගොඩනගන එකත් කාබනික පරිවර්තන සැලැස්මේම කොටසක්.සිකීම් වාසින්ගේ ගොවිබිම් ආශ්‍රිත නියමාකාර දේශගුණය සහ ගොවිතැන් සංස්කෘතිය හින්දම, සිකිම්වල මේ අලෙවිකරණ උපාය මාර්ගයෙන් එනසාල්, ඉඟුරු, දොඩම්, තේ, කිවි පළතුරු, පැෂන්ෆෘට් සහ කඳුකර එළවළු වගේ විශේෂිත භෝග ගැන අවධානය යොමු කරල තියෙනවා.

 

මේ හැම දේම එක්ක සිකිම්වල සංචාරක අංශයත් ඔවුන්ගේ නව කාබනික ප්‍රතිරූපයෙන් සැහෙන්න ප්‍රතිලාභ ලබල තියෙනවා.2012 සහ 2016 අතර සිකීම් වෙත එන ඉන්දියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව 40% කින් වැඩිවුණා.ඒ අතර ආව ගිය විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව කලින් වගේ දෙගුණයක් !

දැනුම යාවත්කාලීනව ගොඩනැගීම සහ ක්‍රියාවලියට තාරුණ්‍යයේ දායකත්වය

අද වෙද්දි ඔවුන් කාබනික ගොවිතැන පාසල් විෂය මාලාවට ඇතුළත් කරල තියෙනවා. ඒ එක්කම ජීවනෝපාය පාසල්, විශිෂ්ට කාබනික මධ්‍යස්ථාන දෙකක් සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වන කාබනික ගොවිතැන් පුහුණු මධ්‍යස්ථාන තුනක් ඇතුළුව රැකියා අවස්ථා වෙනුවෙන් කාබනික ගොවිතැන හා සම්බන්ධ අවස්ථා ගණනාවක් ස්ථාපිත කරල තියෙනවා.ඒ එක්කම  2016 දී  ජාතික කාබනික ගොවිතැන් පර්යේෂණ ආයතනයක් සිකීම් කේන්ද්‍ර කරගෙන ආරම්භ කළා. මේ ආයතනය සිකිම් වලට පමණක් නෙවෙයි, ඉන්දියාවේ සමස්ත ඊසානදිග කඳුකර ප්‍රදේශයටම කාබනික නිෂ්පාදන පද්ධති වෙනුවෙන් අවශ්‍ය  තාක්ෂණික සහාය ලබා දෙනවා.

මේ උද්‍යෝගය හින්දම බොහෝ තරුණ තරුණියන් කෘෂිකර්මාන්තය කියන්නෙ තමන්ගේ ජීවිතයේ වෙන්සක් ඇති කරගන්න පුළුවන් අංගයක් කියල පිළිගන්න ප්‍රවණතාවක් ඇතිවෙලා.ඔවුන් අද ක්‍රියාකාරීව කාබනික ගොවිතැනේ නිරතවෙනවා. අද ක්ෂේත්‍රයේ විශේෂඥයින් කියන විදියට ඉන්දියාවේ තරුණ තරුණියන් තමන්ගෙ ප්‍රාන්තයෙම රැඳී ඉන්න  තීරණය කරන ස්ථාන අතරෙ ගත්තම,සිකිම් කියන්නේ ඒ අතලොස්සෙන් ඉහලින්ම නම කියැවෙන ප්‍රාන්තයක් කියලයි.

සිකිම් වගේම කාබනික ගොවිතැනෙන් ජය කෙහෙලි නංවපු රටක් තමයි භූතානය කියන්නෙත්.ලෝකයේ පළමුවෙනි වතාවට 100%ක්ම  කාබනික රට බවට පත්වෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති  භූතානය විසින් සම්පාදනය කරනු ලැබුවා. වර්ග සැතපුම් 14000 ක විතර භූමි ප්‍රමාණයකට හිමිකම් කියන භූතානයේ ආහාර වලින් සීයට අසූවකට වඩා සැපයෙන්නේ කුඩා පරිමාණයේ ගොවියන්ගේ වගාබිම් වලින්.

වගා කටයුතු වෙනුවෙන් කෘෂි රසායන පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් නතර කරන්න භූතාන රජය තීරණය කරන්නේ 2011 දී.ඔවුන්ගේ ඉලක්කය වුණේ 2020 වෙනකොට මුළු රටේම කෘෂිකාර්මික පද්ධතිය කාබනික පරිවර්තනයකට ලක්කරන එකයි.එහෙත් ඔවුන්ට සිකිම් ප්‍රාන්තය තරම් ශක්තිමත් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තිබුණෙ නැහැ.ඒ නිසාම මේ වෙද්දිත් ඔවුන්ගේ කාබනික බව තහවුරු කෙරිල තියෙන්නෙ සමස්ථ වගාබිම් ප්‍රමාණයෙන් සියට දහයක විතරයි.