Blog

කිරිපිටි පෝලිම්වල කල්මරන්න කලින් මේ ගැන හිතුවාද?


කිරිපිටි පෝලිම්වල කල්මරන්න කලින් මේ ගැන හිතුවාද?

කිරිපිටි හිඟය කියන්නේ මේ දවස්වල දැවෙන ප්‍රශ්නයක් බවට  පත්වෙලා ඉවරයි. රටේ බොහෝ ප්‍රදේශවල කිලෝමීටර් ගාණක් දිග පෝලිම් නිර්මාණය කරන්න තරම් කිරිපිටි, මිනිස්සුන්ගෙ ජීවිතයේ වැදගත්ම අංගයක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ ගොඩක් දෙනෙකුට දවසට එක වතාවක් හරි කිරි පානය නොකර දවස ගතකරන්න අමාරුයි. ඒකෙනුත් සීයට අනූනවයක්ම දෙනා පුරුදුවෙලා ඉන්නේ පිටිකිරි පානය කරන්න.ඇත්තටම මේ කියන තරම් කිරිපිටි අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ද?

දියර කිරිවල මිනිස් සිරුරට පෝෂ්‍යදායී සංඝටක බොහෝමයක් අඩංගු බව අවිවාදයෙන් පිළිගන්න වෙන කාරණාවක්. ඒත් පිටිකල දියර කිරි හෙවත් පිටිකිරිවල බොහෝවිට මේ පෝෂ්‍ය ගුණය ඒ ආකාරයෙන්ම අඩංගු වෙන්නේ නැහැ. ඊට අමතරව සිරුරට අහිතකර සමහර දේවල් පවා වර්තමානයේ වෙළඳපොලේ බහුලව අලෙවිවෙන කිරිපිටි වර්ගවල අඩංගු වෙනවා. ඒ නිසා දීර්ගකාලීනව කිරිපිටි පානය කරන්න හුරුවෙන එක රෝගාබාධ රාශියකට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා.

ඉතින්,කිරිපිටි වෙනුවට වෙන මොනවද අපිට උදේ හවස බොන්න පුළුවන් කියල ඔබට හිතේවි. ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයින් විදියට කිරිපිටි වලට වඩා ගුණයෙන් වගේම රසයෙනුත් අනූන පාන වර්ග බොහෝමයක් අපිට පාරම්පරිකවම උරුමවෙලා තියෙනවා. ඒවායින් උදේට හවසට පානය කරන්න පුළුවන් බොහෝම ගුණදායක ආහාරමය අතිරේකයක් තමයි කැඳ වර්ග කියල කියන්නෙ.

කිරිපිටි පානයකින් ආරම්භ කරන දවසකට වඩා ප්‍රබෝධයක් ඔබේ දවසට එකතු කරන්න මේ කැඳවර්ගවලට පුළුවන්. දේශීයව වැවෙන ඖෂධීය සහ ආහාරමය ශාක භාවිතයෙන් සකසා ගන්න පුළුවන් කැඳවර්ග සිය ගණනක් ගැන දේශීය ආහාර සංස්කෘතියේ සඳහන් වෙනවා.කිරිපිටි පෝලිම්වල නාස්ති කරන වෙලාව හරියට පාවිච්චි කළොත් ඔබට මේ වගේ කැඳ වර්ගයක් ඔබේ දෛනික ආහාර වේලට එකතු කරගන්න පහසුවෙන්ම හැකියාව තියෙනවා. මේ අපි ඔබට කියන්න හදන්නේ ඔබ දන්නා වගේම සමහරවිට නොදන්නා රසවත් සහ ගුණවත් කැඳවර්ග කීපයක් ගැන.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කැඳ වර්ගය මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් ඕනෙම කෙනෙකුට මුලින්ම මතක්වෙන්නෙ කොළකැඳ කියන නම.කොළකැඳක් ඕනෙම ගෙදරක පහසුවෙන් සකසාගන්න අවස්ථාව තියෙනවා. කොළකැඳවලට බහුලවම යොදාගන්න කොළවර්ග අතර ගොටුකොළ,හාතාවාරිය, පොල්පළා, කරපිංචා, වැල්පෙනෙල, මොනරකුඩුම්බිය, ලුණුවිල, ඉරමුසු වගේ කොලවර්ග හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව එක එක ප්‍රදේශවලට ආවේණික විදියට යොදාගන්න කොළවර්ග රාශියක් තියෙනවා. ඒ ඒ ශාක වර්ගවල තිබෙන ආවේණික ගුණයන් නිසා මුළු සිරුරටම බලපාන විදියට පෝෂ්‍ය ගුණයක් ලබාදෙන්න කොළකැඳවලට පුළුවන්. පොදුවේ ගත්තොත් කොළකැඳ පානය කරන එකෙන් පිපාසය සහ බඩගින්න දුරුකරගන්න, ආහාර මාර්ගයේ ආමාශය, කුඩා සහ මහාන්ත්‍ර වගේම අග්න්‍යාශය ආදී ප්‍රදේශ පිරිසිදු කරගන්න, වාත රෝග සමනය කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම ශක්තිය වර්ධනය වෙන එක,සම පැහැපත් වීම, මතක ශක්තිය වැඩිකිරීම සහ සිරුර සිසිල් කිරීම ඇතුළු අමතර වාසි රාශියක් කොළකැඳ පානය කරන එකෙන් ඔබට ලැබෙනවා.

බොහෝවිට කොළකැඳ හදාගන්නකොට එකම කොළවර්ගයක් වෙනුවට කොළවර්ග කීපයක් යොදාගන්න අපේ ගෘහණියන් පුරුදුවෙලා තියෙනවා. ආහාර විශේෂඥයන් කියන දෙයක් තමයි එකම කොළ වර්ගයක කැඳක් දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරන එකත් සමහරවිට ගැටළු ඇතිකරන්න පුළුවන් කියන එක. මේ හැමවෙලාවකම යොදාගන්න ශාක අමුද්‍රව්‍ය හොඳට පිරිසිදුකරගන්න අමතක කරන්න එපා.

බොහෝදෙනෙක් ප්‍රියකරන තවත් කැඳ වර්ගයක් තමයි සව්කැඳ. රසවත් ආහාරමය පානයක් වගේම ඔබේ සිරුර සිසිල් කරන්න පුළුවන් හැකියාවකුත් සව් කැඳවලට තියෙනවා. ශ්‍රී ලාංකේය ආහාර රටාවට අනුව නම් දෙල් සහ ඉස්සන්,දැල්ලන් කකුළුවන්  හෝ බලමාලු වැනි මුහුඳු ආහාරයක් ලබාගැනීමෙන් පසුව අතුපසක් ලෙසත් සව් කැඳ කෝප්පයක් පිළිගැන්වීම සිදුකරනවා. ඒ ඉහත කිව්ව උෂ්ණාධික ආහාරපානවල තියෙන ගිනියම නිසා සිරුරේ නොයෙක් ආබාධ හටගන්න එක වළක්වන්නයි. ඒ වගේම සරම්ප, පැපොල, කම්මුල්ගාය වගේ වෛරස් සෑඳුණු අවස්ථාවලත් උෂ්ණය නිසා ඇස්වල හටගන්නා  නගන ආදිය ඉක්මනින් සුවකිරීම සඳහාත් සව්කැඳ දිව ඔසුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. සව්කැඳ නිතර නිතර පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇවිස්සෙන්න පුළුවන් නිසා සව් කැඳ හදනකොට කරාබුනැටි, කරදමුංගු, ඉඟුරු වැනි කුළුබඩු යොදාගන්නවා දකින්න පුළුවන්. සව්වල තිබෙන පිෂ්ඨය ඉතා ඉක්මනින් ජීර්ණය වෙන නිසා ආහාර රුචිය වර්ධනය කරවන්නත් උපකාරී වෙනවා.විශේෂයෙන් කුඩා දරුවන්ට සහ මහළු උදවියට උදරයේ ඇතිවන ආහාරමය අපහසුතා මඟහරවාගන්නටත්,ගර්භණී කාලයේ ඇතිවන ආහාර අරුචියටත් සව්කැඳ කියන්නේ හොඳම විසඳුමක්. සවස් කාලයේ කිරි වේලට ආදේශකයක් ලෙස සව් කැඳ යොදාගන්නටත් හැකියාව තියෙනවා. පාරම්පරික දැනුමෙන් එන මේ කිව්ව ගුණවලට අමතරව වර්තමානයේ පිළිකා රෝගයන්ට ප්‍රතිකාර විදියට සිදුකරන විකිරණ සහ හෝමෝන ප්‍රතිකර්ම ආදියෙන් පසුව හටගන්නා ඔක්කාරය, ආහාර අරුචිය වගේ අතුරු ආබාධවලටත් සව්කැඳ හොඳ විසඳුමක්. 

වර්තමානයේ කොහොමවුණත් අතීතයේ ශ්‍රී ලංකාව කියන්නේ සහලින් ස්වයංපෝෂිත රටක්. ඇල් වී, සුවඳැල්, හීනැටි ආදී අපිට ආවේණික සහල් වර්ග සියගණනක් ගැන දේශීය ආහාර වට්ටෝරුවල සඳහන් වෙනවා. සුලබව තියෙන කාබොහයිඩ්‍රේටවලට අමතරව ප්‍රෝටීන, මේද, තන්තු වගේම ඛණිජ ලවණ සහ විටමින් වර්ගත් මේ සහල් විශේෂවල නොඅඩුව තියෙනවා.වර්තමානයේ වුණත් මේ වගේ සහල් විශේෂ ඔබට සුපිරි වෙළඳසල් වලින් හොයාගන්න පුළුවන්. ඒ නැතත් සුලබව දේශීය වෙළඳපොලේ තියෙන සහල් වර්ගවලින් උනත් කැඳ වර්ගයක් සකසාගන්න එක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මේ සහල් කැඳ වල තියෙන විශේෂත්වය තමයි සිරුරට ශක්තිය ලබාදෙමින් ආහාර රුචිය වර්ධනය කරන එක.සිරුරට අහිතකර මේදය ඉවත්කරමින් කොලෙස්ටෙරෝල් සහ හෘදරෝග ඇතිවීමේ අවදානම අඩුකරවනවා. විශේෂයෙන්ම බැදිහාල් කැඳ වර්ග රෝගවලින් සුවය ලබපු අයගේ ඉක්මන් ශරීර සුවතාවය වර්ධනය වෙනුවෙන් බහුලව යොදාගන්නවා.සමහර අධිපෝෂිත කිරිපිටිවලට වඩා මේ සහල් වර්ග වලින් හදාගන්නා කැඳ ගුණදායක වෙන්න පුළුවන්.

ධාන්‍ය ආශ්‍රිත කැඳ වර්ග අතර ප්‍රචලිතම කැඳ වර්ගයක් තමයි කුරක්කන් කැඳ. ඉතාම පෝෂ්‍යදායී දේශීය ධාන්‍ය වර්ගයක් වෙන කුරක්කන් ග්‍රෑම් එකක් තරම් සුළු ප්‍රමාණයක පවා කැලරි තුනදහසකට අධික ප්‍රමාණයක් තියෙනවා. වෙනත් බොහෝ ධාන්‍ය වර්ගවලට වඩා ප්‍රෝටීන් සහ තන්තු වලින් කුරක්කන් පරිපූර්ණයි. ඒ එක්කම විටමින් බී, රයිබොෆ්ලේවින්, නියසින්, තයමින් ඇතුළු විටමින් වර්ග, කැල්සියම්, අයන් සහ පොස්පරස් ඇතුළු පෝෂ්‍ය සංඝටකත්  කුරක්කන් වල ඕනෑතරම් තියෙනවා. මේ කුරක්කන් වලින් ඉතාම රසවත් කැඳ වර්ග පිළියෙල කරගන්න දේශීය ගෘහණියක් ඉතාම හොඳින් දන්නවා. බොහොම අවස්ථාවල උදරයේ ඇතිවන අජීර්ණ තත්වයන්ට පිළියමක් විදියටත්, කුඩා දරුවන්ගේ අස්ථි සහ දත්වල වර්ධනයට සහ යහපැවැත්මටත් කුරක්කන් කැඳ ඉතා වැදගත්. වෙළඳපොලේ  තියෙන ළඳරු කිරිපිටිවල විවිධාකාරයේ පෝෂ්‍ය සංඝටක අඩංගු බවට ලේබල් කරලා තියෙනවා වුණත්, ඒවාට වඩා විශ්වසනීය පෝෂණයක් කුරක්කන් කැඳ කෝප්පයකින් ඔබේ දරුවාට ලබාදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට වැයවෙන්නේ බොහොම සුළු වෙලාවක් විතරයි.කුඩා දරුවන්ට වගේම ඔස්ටියෝආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස් වගේ අස්ථි සම්බන්ධ රෝගවලින් පීඩා විඳින අයටත් කුරක්කන් කැඳ බොහොම ගුණදායකයි.විශේෂයෙන්ම තත්තුමය ගුණය බහුලව තියෙන නිසා ආහාර මාර්ගයේ අපහසුතා වලින් පීඩා විඳින අයටත්, කොලෙස්ටෙරෝල් සහ හෘද රෝග වලටත් කුරක්කන් කැඳ පානය දීර්ඝකාලීන ප්‍රතිකර්මයක්. අන්ත්‍ර ආශ්‍රිතව එකතුවන විෂ වර්ග සිරුරෙන් ඉවත් කිරීමටත්, අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට සහ එහි රෝගී තත්වයන් ඇතිවීම වළක්වන්නටත්, මුළු සිරුරේම රුධිට සංසරණය නියමාකාරයෙන් සිද්ධකරවන්නත් කුරක්කන් කැඳ පානය කිරීමෙන් හොඳ උපකාරයක් ලැබෙනවා.ඒ එක්කම සිරුරේ තරබාරු බව නිසා පීඩා විඳින අයට සහ දියවැඩියාවෙන් පීඩා විඳින අයට හොඳ විකල්ප කාබොහයිඩ්‍රේට ප්‍රභවයක් විදියටත් කුරක්කන් කැඳ පානය ප්‍රතිඵලදායක පුරුද්දක් බවට පත්වෙනවට සැකයක් නැහැ. 

බොහෝ දෙනා අතරේ ඒතරම් ජනප්‍රිය නැති, ඒත් රසයි ගුණයි හඳුනගත්ත අය අතරෙ ඉතාම ඉහල ඉල්ලුමක් තියෙන කැඳ වර්ගයක් තමයි කිතුල්පිටි කැඳ. කිතුල්පිටි කැඳවල විශේෂත්වය වන්නේ ඉතාම ප්‍රණීත රසයකින් යුක්ත වෙන එක.ඒ වගේම සිරුර සිසිල් කිරීමේ පුදුමාකාර හැකියාවක් කිතුල් පිටි කැඳ වලට තියෙනවා. දේශීය වෙළඳපොලේ විශේෂිත අලෙවිසල් වලින් වගේම බොහෝ සුපිරි වෙළඳසල් වලිනුත් කිතුල් පිටි පහසුවෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. කාබෝහයිඩ්‍රේට වලින් පොහොසත් ආහාරමය පානයක් වෙන කිතුල්පිටි කැඳවල පොටෑසියම්, පොස්පරස්, ප්‍රෝටීන් වගේම ඛණිජ ලවණ සහ විටමින් වර්ගත් අඩංගු වෙනවා. හෙල වෙදකමේ දැක්වෙන ආකාරයට ගැස්ට්‍රයිටීස් වලට හොඳ විසඳුමක් විදියට කිතුල් පිටි කැඳ හැඳින්වෙනවා. ආහාර මාර්ගයේ හටගන්නා තුවාල සුවවීමට, අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට සහ ගැබිණි මව්වරුන්ටත් කිතුල් පිටිකැඳ ගුණදායකයි. ඒත් කිතුල්පිටි කැඳවල තිබෙන සිසිල් බව හින්දම ඇදුම රෝගීන් සහ ශ්වසන රෝගීන්ට නම් ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන එක වඩා හොඳ බවයි වෛද්‍යවරුන්ගේ මතය.ඒ එක්කම මෙහි තියෙන සීනි සහිත බව ටිකක් ඉහල නිසා දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අයටත් ඒ තරම් සුදුසු නැති බවයි කියැවෙන්නේ.

මේ කිව්ව ඕනෑම කැඳ වර්ගයක් ඔබට පහසුවෙන්  පිළියෙල කරගන්න  පුළුවන්.මේවාට අමතරව තවත් කැඳ වර්ග රාශියක් තියෙනවා. කැඳ වර්ග හදාගන්නා ආකාරය නොදන්නා අයට පවා දැන් දේශීය ආහාර අලෙවිසැල් වලින් මේ ඕනෑම කැඳ වර්ගයක් මිලදී ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට වැයවන මුදල සමහරවිට ටිකක් වැඩි එකක් වෙන්න පුළුවන්. ඒත් ගුණාත්මක අතින් ගත්තත්, කිරිපිටි වෙනුවෙන් වැයකරන මුදල සහ ඒ වෙනුවෙන් දැන් කාලෙ වෙන්න වෙන රස්තියාදුව එක්ක බැලුවාමත් පෝෂ්‍යදායී කැඳ වීදුරුවක් ඔබේ දෛනික පිටි කිරි වීදුරුව වෙනුවෙන් ආදේශ කරන එක ඔබේ ශරීර සෞඛ්‍යය වගේම පසුම්බිය වෙනුවෙනුත්  කරන්න පුළුවන් හොඳම විදියෙ ආයෝජනයක්.