Blog

කාබනික හා රසායනික වගාවන් එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද?


කාබනික හා රසායනික වගාවන් එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද?

මේ දවස්වල බොහෝදෙනා කතාබහ කරන මාතෘකාවක් ඒක. ඒත් සමාජයේ ගොඩ දෙනෙකුට මේ ගොවිතැන් අංශ දෙක ගැන සහ ඒවායෙ තිබෙන වෙනස්කම් ගැන හරිහැටි අවබෝධයක් නැහැ. මේ ලිපියෙන් අපි කතාබහ කරන්නෙ ඒ ගැනයි.

ලෝකයේ කෘෂිකාර්මික රටවල කෙරෙන බෝග වගාවන් සහ ගොවිතැන් ක්‍රම , අකාබනික සහ කාබනික විදියට වර්ගීකරණය කෙරෙනවා.බොහෝවිට එහිදී යොදාගන්න සාධකය තමයි, වගාවට යොදාගන්නා පොහොර වර්ග සහ කෘමි නාශක වල තියෙන සං‍යුතිය. ඒවා කාබනිකද අකාබනිකද යන්න මත තමයි මේ වර්ගීකරණය සිද්ධවෙන්නේ.

අකාබනික ගොවිතැනේ ශාකවල වර්ධනය වේගවත් කරන්නට, ඵලදාව වැඩි කරගන්නට,ඵලවල ප්‍රමාණ විශාල කරගන්නට රසායනික පොහොර වර්ග භාවිත කරනවා. වගාවට බාහිරින් එල්ලවන පළිබෝධ සහ රෝගවල බලපෑම් සහ ඇතිවීම් අවම කිරීම සඳහා රසායනික  කෘමිනාශක ඉසිනු ලබනවා. වගාබිම් ආශ්‍රිතව හටගන්නා වල්  පැලෑටි හා අනෙකුත් ආගන්තුක පැළෑටිවල වර්ධනය පාලනය කරන්නට ඉසිනු ලබන්නේත්  රසායනිකව නිෂ්පාදනය කරපු  වල් නාශක. සතුන්ට වැළඳෙන රෝග වැලැක්වීම සඳහා ලබා දෙන්නෙත් කෘත්‍රිමව නිෂ්පාදනය කරපු ප්‍රතිජීවක සහ ඖෂධ වර්ගයි.ඔවුන්ගේ වර්ධනය වෙනුවෙන් ලබදෙන විටමින් සහ හෝමෝන සියල්ලමත් නිපදවන්නේ රසායනිකවමයි.  

කාබනික ගොවිතැනේ දී මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ශාකවල වර්ධනය වේගවත් කරන්නට, ඵලදාව වැඩි කරගන්නට, ඵලවල ප්‍රමාණ විශාල කරගන්නට පාවිච්චි කරන්නෙ ස්වභාවිකව නිපදවා ගත්ත පොහොර හෝ කොම්පෝස්ට් වගේ වෙනත් ස්වාභාවික පොහොර වර්ග. පස හා ශාක පෝෂණය කිරීම සඳහා යොදා ගන්නෙත් ස්වභාවික පරිසරයෙන් ලබාගත හැකි අමුද්‍රව්‍ය හෝ ඒවායේ සෘජු විකරනයන් පමණයි.කාබනික ගොවිතැනේ වල් පැලෑටි පාලනය කිරීම වෙනුවෙන්  අතින් වල් නෙලීම හෝ සතුන් යොදාගෙන වල් හා අනවශ්‍ය තෘණ පැලෑටි ඉවත් කිරීමයි සිදු කෙරෙන්නේ. පළිබෝධ සහ රෝග අවම කිරීම සඳහාත් කාබනික ගොවිතැනේදී යොදාගැනෙන්නේ කෘමීන් හා පුහුණුකරපු පක්ෂීන් වගේ උපක්‍රම. ඒ වගේ ගොවිබිම්වල ඇතිකරන සතුන්ටත් ලබාදෙන්නේ අකාබනික ගොවික්‍රමවල මෙන් රසායනික ආහාර නෙවෙයි. කාබනික ආහාරමයි. ඔවුන් කෘත්‍රිම වාසස්ථානවල රඳවා තබා නොගෙන  ඔවුන්ට එළිමහනට පිවිසෙන්නට අවසර දෙනු ලබනවා.

සරලවම හැඳින්වූවොත් කාබනික වගාව පරිසරයට එරෙහිව නොයා, හැකිතාක් දුරට පරිසරයත්  සමඟම කටයුතු කරන්නට උත්සාහ කරනවා.එහිදී බොහෝදුරට යොදාගැනෙන්නේ අපේ මුතුන් මිත්තන් රසායනික ද්‍රව්‍ය සහ උපකරණ නොතිබුන අතීතයේ කාලයේදී වැඩකළ ආකාරය හා සම්බන්ධ උපක්‍රමයි.

කාබනික ගොවිතැන සහ කාබනික නොවන, එනම් අකාබනික  ගොවිතැන අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ගොවි නිෂ්පාදන ආරක්ෂා කිරීම,පූර්ව වගා ආරක්ෂණ ක්‍රම, පසු අස්වනු සුරක්ෂිතතාව සහ කල් තබා ගන්නා ක්‍රම වැනි සෑම දෙයක් වෙනුවෙන්ම පාවිච්චි කරන්නේත් පරිසරය හා සමගාමීව යන ද්‍රව්‍යයි. බොහෝ කාබනික ලෙස සහතිකකර ඇති ගොවිපොලවල,සිය  භෝග වගාවන් හෝ ගොවිතැන් ක්‍රම වලදී වල් පැළෑටි සහ  වෙනත් පලිබෝධ මර්දනය වෙනුවෙන්  රසායනික ද්‍රව්‍ය හෝ රසායනික දෑ මත සෘජුව හෝ ඇතැම්විට වක්‍රව පදනම්වී නිෂ්පාදනය කල දේවල් පාවිච්චිය  සපුරා තහනම් වෙනවා.

එසේම, කාබනික ගොවිතැනේදී පරිසරය සමඟ ගනුදෙණු කරන ඕනෙම අවස්ථාවකදී  තිරසාර බව කියන සාධකය  ඉතාම වැදගත් සාධකයක් කොට සලකනවා.මේ තිරසාර පාරිසරික හැසිරවීම  කාබනික ගොවිතැනේ සාර්ථක බව සහ ප්‍රවර්ධනය මනින මිම්මක් මෙන්ම,කාබනික වගාවේ ඉදිරි ගමන තීරණය කරන  ගාමක බලවේගයක් වනවා. ඒ නිසාම කාබනික වගා ක්‍රියාවලියට කැපවීමෙන් සහභාගී වන ඕනෑම පුද්ගලයෙක් දැඩි ලෙස විශ්වාස කරන, මෙන්ම කළ යුතු දේ වෙන්නේ තම වගා සංග්‍රාමය අතරතුර ගන්නා කිසිදු පියවරකින්, පරිසරයේ ශාක ගහණය මෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ද ඇතුළුව කිසිදු ජීවියෙකුට අහිතකර හෝ අහිතකර ලෙස බලපෑම් නොකළ යුතු බවයි.

මීට අමතරව කාබනික ගොවිතැන අකාබනික ගොවිතැනෙන් වෙනස් වන තවත් කරුණු කිහිපයක් තිබෙනවා.

පරිසරයේ අනෙකුත් ජීවීන්ට ඔවුන්ගේ ජීවන ක්‍රියාවලි පවත්වාගෙන යාමට බාධාවන් සිදු නොකරයි.

කාබනික පශු සම්පත් හා ශාක පදනම් කරගත් කෘෂිකාර්මික වටාපිටාවක් තුල කරනු ලබන ගොවිතැනේදී ස්වභාව ධර්මය  සැමවිටම මවු තනතුරේ තබා සලකනු ලබනවා.ඒ නිසා සොබාදහමට අවශ්‍ය ආකාරයට එහි සාධනීය වෙනස්කම් සිදුවෙන්නට ඉඩහරිනවා. විශේෂයෙන්ම පශු සම්පත් හා ඔවුන් ආශ්‍රිතව නිපදවාගන්නා අනෙකුත් සත්ව ආහාර කෘත්‍රිම  වර්ධන හෝමෝන,කෘත්‍රිමව නිපදවාගත් ප්‍රතිජීවක, වෙනත් ආකාරයට කෘත්‍රිම  ඖෂධ හෝ ජානමය වශයෙන් වැඩිදියුණු කළ  ආහාර ලබා දෙන්නේ නැහැ.ඔවුන් සියල්ලම ගන්නේ ස්වභාවික ආහාර පමණක් වන අතර, ඒ ඇසුරෙන් නිපදවන සත්ව ආහාර පවා මිනිස් පරිභෝජනයට නිකුත් කෙරෙන්නේ ස්වභාවික බව රැකෙන පරිදිමයි.

එහෙත් අකාබනික කෘෂිකර්මයේදී සොබාදහමේ හැසිරීම එතරම් වැදගත් කොට සලකන්නේ නැහැ. සොබාදහමේ හැසිරීම හා තේරීම කුමක් වුණත්,ලාබය හා වෙනත් ආර්ථික වාසි සලකා එහි හැසිරීම් රටාවන් වෙනස් කිරීම නිරන්තරයෙන් සිදු කෙරෙනවා. එමෙන්ම සතුන්ගේ වර්ධනය සහ සෞඛ්‍ය වෙනුවෙන්  ගුණයන් අඩු වැඩිකළ කෘත්‍රිම ආහාරපාන, ආහාර අතිරේක, ඖෂධ මෙන්ම හෝමෝන වර්ගත් ලබාදෙනවා.

කාබනික ගොවිතැන ස්වභාව ධර්මය ආරක්ෂා කරයි.

මේ ලිපියේ මුලිනුත් සඳහන් කළ ආකාරයට කාබනික ගොවිතැන පරිසරය වඩා හොඳ තත්වයකට පත්කිරීම වෙනුවෙන් ස්වභාව ධර්මය සමඟ එක්ව කටයුතු කරනවා. ගොවීන් කාබනික කෘෂිකාර්මික  ක්‍රියා පටිපාටි භාවිත කරන විට, දූෂණය, අධිකව බලශක්ති පරිභෝජනය සහ පාංශු ඛාදනය වගේ පාරිසරිකව බලපෑම් වෙන ක්‍රියා අවම කරනවා. ඒ අතරම පාංශුමය සාරවත් බව වැඩිදියුණු කිරීම සහ ජල මූලාශ්‍රවල ගුණාත්මක බව සංරක්ෂණය කිරීම වගේ වෙනුවෙනුත් අවධානය යොමු කෙරෙනවා. ස්වාභාවික නිෂ්පාදන ආරක්ෂණ ක්‍රම භාවිතා කරන නිසා  ස්වාභාවික වන ජීවීන්ට සහ ගොවිපලවල් අසල ජීවත් වන මිනිසුන්ට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් යුතුව  ආරක්ෂිතව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා.

කාබනික මස් සහ කිරි සමහර විරල පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්

කාබනික වගාවේදී නිපදවාගන්නා මස් හා කිරි වල,ඒ හා සමාන්තර  අකාබනික  නිෂ්පාදන හා සමඟ සසඳන විට 50% දක්වා ඉහළ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන බව 2016දී  යුරෝපීය කලාපයේ සිදුකරල ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙම විරල පෝෂ්‍ය පදාර්ථ වලට සිරුරට අත්‍යවශ්‍ය ඔමේගා සහ  මේද අම්ලද ඇතුළත් වෙනවා.

අකාබනික නිෂ්පාදනයන් ඇතැම්විට ජාන වෙනස් කළ ජීවීන්ගෙන් ලැබෙන ආහාර විය හැක

ජානමය වශයෙන් සැකසූ නිෂ්පාදන ලෙසද පොදුවේ හඳුන්වනු ලබන GMO, යනු ස්වභාවධර්මයේ ස්වාභාවිකවම සිදු නොවන ජාන සංකලන හා වෙනස්කම්,  හරස් අභිජනන ක්‍රම සහ ජාන ඉංජිනේරු  විද්‍යාවේ ක්‍රම හරහා  සිදුකර ඔවුන්ගේ ඩීඑන්ඒ වෙනස් කිරීමෙන් නිපදවා තියෙන ආහාරයි.ඒවා පරිභෝජනයෙන් බොහෝවිට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා.

අකාබනික ගොවිතැන වෙනුවෙන් මෙසේ ජාන විකෘතිකර සැකසූ ,ස්වාභාවික පළිබෝධකයන්ට ප්‍රතිරෝධී පළිබෝධනාශක නිපදවීමත් මහාපරිමාණයෙන් සිද්ධකරනවා.

බලපෑම

කාබනික වගාවන්හී බලපෑම සලකන කල්හී එය බොහෝවිට සොබාදහමට මෙන්ම පරිභෝජනය කරන ජීවීන්ටත් හිතකර බවට සැකයක් නැහැ. ඕනෑම කාබනික වගාවකදී යම් මට්ටමක පාරිසරික හානියක් සිදුවෙන නමුත් එය අකාබනික වගාවන් හා සැසදීමේදී නොගිනිය හැකි මට්ටමකයි තිබෙන්නේ. 

ග්ලයිෆොසේට් අඩංගු විෂ සහිත වල් නාශක භාවිතය නිසා  අපගේ ආහාර වේලෙහි පවා ඒවායේ අහිතකර විපාක අඩංගුවිය හැකියි. පළිබෝධනාශක භාවිතය නිසා ඇති වන සෞඛ්‍ය අවදානම් මට්ටම පිළිබඳව තවමත් යම් මතභේද පවතින නමුත් ග්ලයිෆොසේට් අපට පිළිකා කාරක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ වනවිටත් තහවුරු  කර තිබෙනවා.

මිනිසුන් තුළ ආමාශයික ආබාධ, බඩවැල්වල ගැටළු සහ ආහාර අසාත්මිකතාවන් වැඩි වීමත් සමඟ ජානමය වශයෙන් වෙනස් කළ ආහාරසම්බන්ධ වන බවයි කියැවෙනේ. සතෙකුගේ හෝ ශාකයක ස්වභාවික ඩීඑන්ඒ සැකැස්මට විවිධාකාරයෙන් වලට ඇඟිලි ගැසීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බව බොහෝ ආහාර සුරක්ෂිතතා උපදේශකයින් තරයේ විශ්වාස කරනවා.