Blog

කාබනික සහ අකාබනික ආහාරවල වාසි සහ අවාසි


කාබනික සහ අකාබනික ආහාරවල වාසි සහ අවාසි

කාබනික ආහාර කියල හඳුන්වන්නේ කාබනික ගොවිතැනේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලවන ක්‍රම මගින් නිෂ්පාදනය කරනු ලබන ආහාරයි. මේ වගේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියෙදි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු පොහොර වර්ග, පළිබෝධනාශක සහ කෘත්‍රිම ශාක හෝමෝන වගේ කිසිම දෙයක් භාවිත වෙන්නේ නැහැ. ඒ වගේම කාබනික ආහාර නිෂ්පාදනය කරන අවස්ථාවේ කිසිම ජානමය වශයෙන් විකරණයක් සිදුකරන්නේ නැතුව තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. මේ ආකාරයේ කිසිම වෙනසක් සිදු නොකර ස්වභාවධර්මයට අනුකූලවම වැඩෙන්නට ඉඩහරින ශාකවලින් නිපදවාගන්නා ආහාර වර්ග තමයි කාබනික ආහාර ලෙස වර්තමානයේ හඳුනාගන්නේ.

ආකාබනික ආහාර කියල හඳුන්වන්නේ මේ සංකල්පයේ සම්පූර්ණයෙන්ම අනෙක්පැත්ත. අකාබනික ආහාර නිෂ්පාදනය කිරීමේදී ගොඩක් වෙලාවට ශරීර සෞඛයට වඩා අලෙවිය සහ ලාබය වගේ සංකල්පවලට තමයි ප්‍රමුඛතාවය හිමිවෙන්නේ.එහිදී රසය වැඩිකරගැනීම, ප්‍රමාණය වැඩිකරගැනීම සහ කල්තබාගතහැකිවෙන විදියට විවිධාකාරයේ නවීකරණයන් ආහාරයට එකතු කරනු ලබනවා. ඒවායින් ඇතැම් ඒවා ජානමය වශයෙන් සිදුකරන විකරණයන්.

පසුගිය වසර කිහිපය තුළ කාබනික ආහාර නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි වැඩියෙන් ජනප්‍රිය වී තිබෙනවා. ඒ නවීන තාක්ෂණික දියුණුවත් එක්ක මිනිසුන් තමන් අනුභව කරන දේ පිළිබඳව වඩාත් දැනුවත් වෙලා ඉන්න නිසාවෙන්. මාංශමය ආහාර පවා බොහෝදෙනා මහා පරිමාණ කර්මාන්තශාලා වලින් මිලදී ගැනීමට අදිමදි කරන තත්වයක් දක්නට ලැබෙනවා. මොකද කිව්වොත් ඒ නිෂ්පාදනාගාර වල සතුන් අවභාවිත කරන ආකාරය දැනගන්න ඕනෑතරම් ක්‍රම වර්තමානයේ තියෙන නිසා.

කොහොමවුණත් මේ කාබනික අකාබනික ආහාර වර්ග දෙකේම වාසි සහ අවාසි තියෙනවා. කාබනික ආහාර ගැන සලකා බැලුවොත් ඒවායේ ගුණාත්මකබාවය පැහැදිලිවම ඉහලයි. අකාබනික ආහාරවලට වඩා ගුණය ගැන සැලකිලිමත්ව නිපදවන නිසයි ඒවායේ ගුණාත්මකබාවය ගැන ඉහලින් කතාබහ වෙන්නේ. ඒ වගේම තමයි කාබනික ආහාර නිෂ්පාදනය කරන අවස්ථාවල සොබාදහමට බොහෝදුරට අනුකූලවම සියලුම ක්‍රියාවලි සිද්ධකරන නිසා වාතය, පස ආදී පාරිසරික සං‍රචක දූෂණය වීමක් සිද්ධවෙන්නේ ඉතාම අඩුවෙන්.

කාබනික ආහාර නිපදවීමේදී පළිබෝධනාශක භාවිත කෙරෙන්නේ ඉතාම අවම වශයෙන්. භාවිත කළත් ඒවා සොබාදහමේම තියෙන සමහර උපක්‍රමමයි. ඒ හින්දා පරිසරයට අමතර රසායනික හෝ ජීව විද්‍යාත්මක හානියක් සිදුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.කාබනික සත්ව ආහාර නිෂ්පාදනයේදී පවා සතුන්ට සලකන්නේ ලොව පුරා පිළිගත් සම්මත ආචාරධර්ම සහ ප්‍රමිති පද්ධතියකට අනුකූලව වීමත් කාබනික ආහාර කෙරෙහි ජනතාවගේ කැමැත්ත වැඩිවන්නට හේතුවක් වෙලා තියෙනවා. කාබනික ආහාරවල තියෙන පෝෂණ ගුණය අකාබනික ආහාර වලට වඩා වැඩියි කියලයි විශේෂඥ මතය.මොකද ආහාරයේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ සිදුකරන්නේ සොබාදහම විසින් වීම හින්දා. බොහොම සුළු දේවල් කිහිපයක් හැරෙන්නට මිනිස් දෑතින් ඒ වෙනුවෙන් සිදුකරන වෙනස්කම් ඉතාම අඩු මට්ටමකයි තියෙන්නේ. මිනිසා කියන්නෙත් සොබාදහමේ නිර්මාණයක්. ඒ නිසා සොබාදහම විසින් නිර්මාණය කරන දෙයක් සොබාදහමේම නිර්මාණයකට ජීවය පවත්වාගන්නට භාවිත කිරීමේ මූලධර්මයට අනුවයි කාබනික ආහාර නිපැයුම සිදුකෙරෙන්නේ. නමුත් අකාබනික ආහාර නිපදවාගැනීමේදී වැඩියෙන් සැලකිලිමත් වෙන්නේ ප්‍රමාණය, නිපැයුම් සංඛ්‍යාව වගේ හේතු කාරණා ගැන නිසා පෝෂ්‍ය ගුණය ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ.

කාබනික ආහාරවල මිල සාමාන්‍යයෙන් අකාබනික ආහාරවලට වඩා අධිකයි. ඒ හින්දම ඒ වෙනුවෙන් සාපේක්ෂව වැඩිමුදලක් වැයකරන්න මිනිස්සුන්ට සිද්ධවෙනවා. ඒකෙන් මිනිස්සුන්ට ආහාර නාස්තිය අවම කරවීම ගැන හැඟීමක් ඇතිකරවන්න පුළුවන්.මොකද වර්තමාන ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි නිකරුනේ ආහාර නාස්ති කරන එක. ඒ වගේම මිනිස්සු වෙනදාට වඩා ඔවුන්ගේ ආහාරවේල ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒක නිසාම මිනිස්සු කාබනික ආහාර මිලදීගැනීම තවත් වැඩි වැඩියෙන් සිද්ධවෙන්න පුළුවන්.

අකාබනික ආහාරවල තියෙන අවාසි ගැන අපි බොහෝදෙනෙක් දැනුවත්. හැබැයි අපි වැඩිය හොයන්න යොමුවෙන්නෙ නැති කාරණාව තමයි කාබනික ආහාරවල තියෙන අවාසි ගැන. කාබනික ආහාර වැඩියෙන් අගය කරණ ප්‍රවණතාවයක් තිබුනා වුණත් ඒවායේ පවා  අවාසි තියෙනවා. වෙනත් විදියකට කිව්වොත් අකාබනික ආහාරවල තියෙන වාසිදායක තත්වය පැහැදිලිකරගන්න හොඳම ක්‍රමය වෙන්නේ මේ කිව්ව කාබනික ආහාරවල තියෙන අවාසි ගැන විමසා බලන එකම තමයි.

මුලින්ම ගත්තොත් කාබනික ආහාරවල මිල ටිකක් ඉහල මට්ටමකයි මේ වෙද්දි තියෙන්නේ. කාබනික ආහාර මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙන රටවල් සහ ප්‍රදේශවල පවා ඒවායේ මිල සාමාන්‍ය මහජනතාවට එදිනෙදා දරාගන්න අපහසුයි. මේ මිල වැඩිවීමට හේතුව වෙන්නේ කාබනික ගොවිතැනේ පිළිවෙත් සඳහා ඉටුකළයුතු අවශ්‍යතාවලට සාපේක්ෂව වඩා වැඩි ඉල්ලුමක් තියෙන එකයි. උදාහරනයක් විදියට ගත්තොත් කාබනික ගොවිතැනේදී වර්ග මීටර් සීයක ඉඩක ඇතිකල හැකි සතුන් ප්‍රමාණය සීමා කරලයි තියෙන්නේ. එහෙත් අකාබනික වගාවෙදි එහෙම සීමා පැනවීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා කාබනික මස්වල නිෂ්පාදන පිරිවැය වගේම පාරිභෝගිකයන්ට ඒ වෙනුවෙන් ගෙවන්න වෙන මුදලත් ඉහල එකක් වෙනවා.

කාබනික ආහාර වල තියෙන තවත් ගැටළුවක් තමයි ඒවායේ කල්තබාගතහැකි කාලය බොහෝවිට අකාබනික ඒවාට වඩා සීමිත අගයක් ගැනීම. මොකද කිව්වොත් ඒවාට බාහිරින් කල්තබාගත හැකිවෙන විදියට බලපෑමක් කරල නැති හින්දා, සෞඛ්‍ය සම්පන්න බව වැඩිවුණත් ඒවා තියාගන්න පුළුවන් කාලය සීමිත වෙනවා.

මේ අනුව, පාරිභෝගිකයින්ට නියමිත වේලාවට පරිභෝජනය කරන්න බැරිවෙන හින්ද හොඳින් කල්පනාකාරී නොවුණොත් විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යන්න ඉඩ තියෙනවා. නොදැනුවත්කම නිසා සතියකට කල්තබාගන්න කාබනික එළවළු ඇතැම්විට දවස් 2-3 කින් නරක්වෙලා අපතේ යන්න පුළුවන්.ඒ විතරක්ම නෙවෙයි. පාරිභෝගිකයින් නියමිත වේලාවට ඒවා මිලදී ගත්තේ නැත්තම් වුනත් මේ දේම වෙන්න පුළුවන්. එහෙම වෙලාවක වුනත් කාබනික ආහාර වෙළඳසැල් වලට ආහාර විශාල ප්‍රමාණයක් ඉවත දාන්න සිද්ධවෙන්න පුළුවන්.

අපි කවුරුත් දන්න විදියට කාබනික ආහාර වර්තමාන සමාජය තුල බොහොම ජනප්‍රියයි. මේ ජනප්‍රියතාවයම අවභාවිත කරලා ඔබව රවට්ටන්න වෙළෙන්දන්ට පුළුවන්. වාණිජ අරමුණු විතරම් පාදක කරගත්ත වෙළෙන්දන් බොහෝ විට තමන් විසින් නිෂ්පාදනය කරන හරි, එහෙමත් නැත්තම් අලෙවිකරන ආහාර පරිසර හිතකාමී සහ කාබනික බව ප්‍රකාශ කරන්න ව්‍යාජව ඔවුන් විසින්ම හදාගත්තු ලේබල් හෝ වෙනත් දේවල් භාවිත කරන්න පුළුවන්. ප්‍රශ්නෙ වෙන්නේ ඒ  ආහාර වර්ග බොහොමයක් ඇත්ත වශයෙන්ම කාබනික ආහාර නොවෙන එකයි.

ඒ හින්දා කාබනික බව පෙනෙන ආහාර මිලදී ගන්න කලින්, ඒ ගැන හොඳින් පරික්ෂා කරල බලන්න. විකුණන අය සහ නිෂ්පාදකයන් කොහොම කිව්වත් එම ආහාර ඇත්ත වශයෙන්ම කාබනික බව සහතික කරගන්න නම් එම ආහාරවල නිල කාබනික ලේබලයක් තියෙනවා කියන එක සැකහැර දැනගන්න  වග බලා ගන්න.

ඒ එක්කම කියැවෙන අනෙක් කාරනාව  තමයි කියන්නන් කොහොම කිව්වත් කාබනික ආහාර නිෂ්පාදනය කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. කාබනික ගොවිතැනට අදාළ ඉහළ අවශ්‍යතා සහ නියාමන ප්‍රමිතීන් නිෂ්පාදකටන් සපුරාලනවද නැද්ද කියන එක සහතික කිරීම වෙනුවෙන් නිල බලධාරීන්ගේ නිරන්තර පාලනයන් තියෙන එක අත්‍යවශ්‍යයි.

නමුත් ප්‍රශ්නය වෙන්නේ කෙසේ එම පාලනයන් වෙනුවෙන්  කාලය ගත කරන එක සහ අනුමැතියන් ලබාගන්න නිෂ්පාදකයන්ට ලොකු කාලයක් සහ පිරිවැයක් දරන්න වෙන එක.මේ ක්‍රියාවලිය බොහෝ රටවල නිෂ්පාදකයන්ට තරමක් කරදරකාරී වැඩ ගොඩක් එක්ක කරන්න වෙන දෙයක්.මේ හින්දම මේ දරන්න වෙන මහන්සියෙන් සහ පිරිවැයෙන් කොටසක් ඔබගේ කාබනික ආහාරවල අවසාන නිෂ්පාදන මිලට එකතු කරන එක කිසිසේත් වළක්වන්න බැහැ.

කාබනික ආහාර නිෂ්පාදනය කරන්න  පළිබෝධනාශක සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ අඩුවෙන් කියල අපි හැමෝම දන්නවා.කාබනික ආහාර අකාබනික ආහාරවලට වඩා ඉක්මනින් නරක් වෙන හින්දා ඒවා ඉක්මනින් අපගේ වෙළඳසැල් වෙත ලබා දෙන්න සඳහා ප්‍රශස්ත නිෂ්පාදන දාමයක් තියෙන එක ඉතාම වැදගත්. කාබනික ආහාර නිෂ්පාදනවල බැක්ටීරියා හෝ වෙනත් ක්ෂුද්‍රජීවීන්,පණුවන් වගේ සතුන් වර්ධනය වීම ගැන කරදර නොවී පාරිභෝගිකයින්ට නැවුම් කාබනික ආහාර මිලදීගන්න හැකි වෙන්නේ එතකොටයි.

සමහරවිට රට සහ කලාපය අනුවත්, බොහෝ විට කාබනික ආහාරවල විවිධත්වය වෙනස් වෙන්න පුළුවන්.මේ විදියෙ විවිධ ලේබලවලින් ඇඟවෙන්නේ මොකක්ද සහ හොඳම එක මොකක්ද කියලා තමන් හරියටම දන්නෙ නැති හින්දා පාරිභෝගිකයින් ව්‍යාකූල තත්වයට පත්වෙන්න ඉඩ තියෙනවා.

මේ ව්‍යාකූලත්වයත් එක්ක සමහර අය කාබනික ආහාර තෝරගන්න එක පැත්තක තියලා අකාබනික ආහාර වලට යොමුවෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. තමන්ට විශ්වාසය තියන්න පුළුවන් කුමන ලේබල මතද  කියලා නොදන්නා හින්දම කාබනික නිෂ්පාදනවල ඉල්ලුම භයානක විදියට පහත යන්න පුළුවන්.

මේ නිසාම කාබනික ආහාර වෙළඳපොළ පාරිභෝගිකයින් සඳහා වඩාත් විනිවිද භාවයෙන් යුත් එකක් බවට පත් කිරීම සඳහා කාබනික ආහාර ලේබලය වැඩි වශයෙන් පිළිගත් ප්‍රාදේශීය හෝ ලෝක සම්මත එකක් බවට පත්කරන එක අත්‍යවශ්‍යයි.

මේ කිව්ව ප්‍රධාන කාරණාවලට අමතරව කුඩා ව්‍යාපාරිකයින් පීඩාවට පත්වෙන එක,ඉහල අවධානයක් යොමුකරන්න සිද්ධ වෙන එක,කුඩා පරිමාණයේ ගොවීන්ට මේ ක්‍රියාවලිය ලාබ ලැබෙන ආකාරයෙන් සිදුකළ නොහැකි විම වගේ දේවල් හින්දා කාබනික ආහාර නිපදවීම අවාසි වෙන අවස්ථා තියෙනවා.

කොහොමවුණත් ඉහත අපි පෙන්වා දුන්න වාසි අවාසි අනුව වඩාත් හොඳ දේ තෝරාගැනීම ඔබට භාරයි.