Blog

ලෝකයේ පොහොසත්ම ආහාර සංස්කෘතිය තියෙන රට මොකක්ද?


ලෝකයේ හැම රටකටම පාහේ තමන්ටම අනන්‍යවුණ මේ වගේ ආහාර සංස්කෘතීන් තිබෙනවා. ඒ අතරින් ආසියාතික රටවල්වල ආහාර රටාවට සුවිශේෂී තැනක් හිමිවන්නේ මස් මාංශ වර්ග භාවිතය අවම කරගෙන පෝෂ්‍යදායී මෙන්ම රසවත් ආහාර සකසන නිසාවෙනුයි. ශ්‍රී ලංකාව කියන්නෙත් සාම්ප්‍රදායික ආහාර වලින් ඉතාම පොහොසත් ආහාර සංස්කෘතියක් සහිත රටක්. දේශීය ආහාර රටාවේ තියෙන  සොබාදහමට වඩාත් සමීප ආහාර වට්ටෝරු මෙන්ම ආහාර පුරුදු නිසා ආහාරයේ රසය ගුණය සුරැකෙන ආකාරයට සැකසීමට වගේම ආහාර වේලෙහි අන්තර්ගත පෝෂණය උපරිමයෙන්ම ලබාදීමට හැකිවෙන පරිදි වටපිටාව සැකසී තිබෙනවා.

සංස්කෘතිය ගැන පර්යේෂණවල නියැලෙන විද්වතුන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ රටක ආහාර සංස්කෘතිය ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය මෙන්ම ජීවන තත්වයද නගා සිටවීමට උපකාරී වෙන බවයි.බටහිර රටවල් වලින් උකහා ගත් නිසි අවබෝධයකින් හෝ තොරව එදිනෙදා භාවිත කරන ආහාර වට්ටෝරු නිසා ජනතාව නිකරුනේ සෞඛ්‍යයෙන් පිරිහෙනවා සේම ආර්ථික අතින් පරිහානියට පත්වීමත් සිදුවෙනවා. ඒ නිසාවෙන් ම අපි නිරන්තරයෙන් අප සතුව තිබෙන ආහාර සංස්කෘතිය කෙතරම් සාර්ථක එකක්ද යන්න පිළිබඳව අවබෝධයෙන් සිටීම වැදගත්.

ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය උදෑසන ආහාරයේ පටන් රාත්‍රී ආහාරයෙන් පසුව ගන්නා අතුරුපස දක්වා වන ශරීර සෞඛ්‍යයට ඉතාම හිතකර ආහාර පාන වලින් වගේම, ඒ ආහාර පානවලින් සිරුරට ලැබෙන පෝෂණය සහ දිවට දැනෙන රසය උපරිම වන ආකාරයට ආහාර සකසන විධික්‍රම මෙන්ම ආහාර පුරුදු වලිනුත් සමන්විත වෙනවා. උදෑසනම අවදිවන ශ්‍රී ලාංකිකයෙකුට දවස ආරම්භ කිරීමට සුදුසුම පානය වශයෙන් දේශීය ආහාර සංස්කෘතියේ හඳුන්වන්නේ කැඳ වර්ග හෝ පෝෂ්‍යදායී දියරමය ආහාර වර්ගයි. ගොටුකොළ, හාතාවාරිය, කරපිංචා, ලුණුවිල හෝ වෙනත් ඕනෑම  කොළ වර්ගයකින් පිසගත් කැඳකින් දවස ආරම්භ කිරීමෙන් මුළු දවසම ප්‍රබෝධයෙන් ගතකිරීමට හැකියාව ලැබෙනවා.දීර්ඝකාලීනව කොළකැඳ පානය කිරීමෙන් සිරුර සිසිල් වීම, සම පැහැපත්වීම, ශරීරයේ එකතුවෙලා තියෙන විෂ වර්ග ඉවත්කරවීම මෙන්ම ශරීරයට ශක්තිය ලැබීමත් සිද්ධවෙනවා. කැඳ වර්ගවලට තිබෙන තත්වය ගුණයෙන් අඩු පිටි කිරි වීදුරුවකට ලබාදීම වෙනුවෙන් එවකට සමාගම් භාවිත කරන ලද ‘කැඳ බීලා වගේ’ කියන උපහාසාත්මක කියමන පවා අපේ ආහාර සංස්කෘතියේ වටිනාකම් අපෙන් ඈත් කිරීමේ අරමුණෙන් හඳුන්වා දෙන ලද්දක්.

උදෑසනට ගතහැකි තවත් අධි පෝෂ්‍යදායී ආහාරයක් වන්නේ දියබත්.දියබත් සකසා ගන්නේ රාත්‍රියේ ඉතිරිවන බත් වලට පිරිසිදු ජලය, සමහර කුළුබඩු හා තවත් දෑ එකතු කර තැබීමෙනුයි. එයත් සිරුර සිසිල් කර ප්‍රබෝධමත් දවසක් ආරම්භ කිරීමට මහෝපකාරී වෙන ආහාරයක්.

දේශීය ආහාර සංස්කෘතියට අනුව උදෑසනට ගතහැකි ආහාර අතර බත්, කිරිබත්, පිට්ටු, ඉඳිආප්ප, රොටී ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. මේවායින් ඇතැම් ඒවා ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල්වල උපතලද ආහාරයි.බත් නම් වඩාත් සුදුසු වන්නේ නිව්ඩ්ඩ සහිත සහලකින් පිසගත් බත් වර්ගයි. බත් හෝ ඉඳි ආප්ප සමඟ ආහාරයට ගන්නා අනෙක් ජනප්‍රියම ආහාරය වන්නේ පොල් සම්බෝලයයි.දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන් පවා මවිත කරවන සුළු ගුණයක් පොල් සම්බෝලයේ පවතින බවටයි කියැවෙන්නේ. ග්‍රාමීය ප්‍රදේශවල නම් බත් සමඟ පොල් සම්බෝලය පමණක් සෑහෙන අතර ඇතැම්විට සම්බෝල සමඟ වියලි හාල්මැස්සන් හෝ කරවල බැඳුමක් එකතුවෙයි. කිරිබත ශ්‍රී ලංකාවේ උත්සව අවස්ථාවල මෙන්ම සාමාන්‍ය උදෑසන ආහාරයක් ලෙසත් භාවිත වෙන රසවත් ආහාරයක්, එහි තිබෙන රසය නිසාවෙන් බොහෝදෙනා කිරිබත් වලට ප්‍රිය කරනවා. කිරිබත සමඟ ආහාරයට පිළිගන්වන්නේ ලුණුමිරිස් හෝ කට්ට සම්බෝලයක්.එහි ලූණු, මිරිස්, උම්බලකඩ, දෙහි ආදිය අඩංගු හින්දා ගුණයෙන් මෙන්ම රසයෙනුත් ඉතාම පරිපූර්ණයි. බොහෝවිට උදෑසන ඇතිවන අපුල ගතිය මගහරවාගන්නට පොල් සම්බෝල,කට්ට සම්බෝල සහ ලුණුමිරිස් ආදියෙන් හැකියාව ලැබෙනවා, පොල් උලුප්පා ගිනි අඟුරු මත පුච්චාගෙන වංගෙඩියේ ලා කොටාගෙන සකසන සම්බෝලයටත් ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ මුල් තැනක් හිමිවෙනවා.එහි විශේෂත්වය වන්නේ කුළුබඩු වැඩිපුර යොදාගෙන සකසන ඉතාම ප්‍රණීත ආහාරයක් වීම නිසාවෙනුයි. උදෑසන සීතල කාලගුණය නිසා උගුරේ ඇතිවන අපහසුතා,සෙම්ප්‍රතිශ්‍යා තත්ව සමනය කිරීම පිණිස මේ සම්බෝල වර්ග බොහොමයක් ගම්මිරිස් වැඩිපුර යොදාගෙන සකසනවා.

උදෑසන තේ වේල වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් තේ පානයට හුරුවී සිටියත්, ශ්‍රී ලංකාවේ ආහාර පුරුදුවලට අනුව නම් ඒ වෙලාවට පානය පිණිස තේ වලට එහාගිය පානවර්ග බොහොමයක් යොදාගන්න හැකියාව තියෙනවා. සිසිල් පානයක් අවශ්‍ය නම් පැණි දොඩම්, කිරල, දිවුල්, බෙලි වැනි පාන වර්ගයක් සිසිල් බීමක් ලෙස තේ වෙලාවට යොදාගන්න පුළුවන්. ඒ ඒ පාන වර්ගවලට අනන්‍ය වූ රසයන් වගේම ගුණයනුත් මේවායේ තියෙනවා.ඔබට අවශ්‍ය උණුසුම් පානයක් නම් තේ,කෝපි යන සුලබ තේරීම් දෙකට අමතරව, බෙලිමල්, රණවරා, ඉරමුසු, පොල්පලා ආදී ඖෂධීය පාන වර්ගයක් අත්හදාබැලීමේ හැකියාව තිබෙනවා. සිරුර සිසිල් කිරීමේ ඉඳලා වකුගඩු ආශ්‍රිත රෝග සහ මූත්‍රා මාර්ගයේ අපහසුතා දක්වා වන රෝග ගණනාවකට ප්‍රතිකර්ම ලබාදීමේ හැකියාව මේ තේ වේලට පානය කරන පාන වර්ගයකට පවා තිබෙනවා. දේශීය ආහාර සංස්කෘතියේ ප්‍රධානම තේමාවක් වන්නේ රෝගයක් වැළඳීමෙන් පසුව ප්‍රතිකාර කරනවාට වඩා රෝගයක් ඇති නොවන තැනට වැඩකටයුතු කරගැනීම වඩාත් සුදුසු වන බවයි. ඒ හින්දම හිතාමතා ඖෂධ ලබාගන්නවා වෙනුවට එදිනෙදා ලබාගන්නා ආහාර පාන වලින්ම රෝගවලට ප්‍රතිකර්ම ලබාදීමට ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ ඕනෑ තරම් ක්‍රම තියෙනවා.

දහවල් ආහාරය පිණිස දේශීය ආහාර සංස්කෘතියේ සීයට අනූනවයක්ම යොදාගැනෙන්නේ බත්.මෙහිදී වර්තමානයේ වැඩිපුර භාවිත වෙන සුදුහාල්, කීරිසම්බා, බාස්මතී වර්ග වෙනුවට නිව්ඩ්ඩ සහිත සහල් පිසීම වඩාත් දිරිගැන්වෙනවා. ශ්‍රී ලංකාවේ අතීතයේ පටන්ම වී වර්ග සිය ගණනක් භාවිතයට ගැනුණු අතර, ඇල්වී, සුවඳැල්, හීනටි ආදී සහල් විශේෂ කිහිපයක්ම අදටත් වෙළඳපොලෙන් සොයාගන්නට හැකියාව තිබෙනවා.ලෝකයේ සහල් යනු කාබෝහයිඩ්‍රේට ප්‍රභවයක් විතරක් වුණත්,ශ්‍රී ලංකාවේ ඒ ඒ සහල් වලට ආවේණික ඖෂධීය ගුණයන් පවා තියෙනවා. ඇතැම්විට සහල් ආශ්‍රිතව පිළියෙල කරගන්නා බත් වෙනුවට ප්‍රෝටීන බහුල ඉරිඟු ඇට, ඕලු ඇට ආදියෙන් පිළියෙලකරගන්නා ස බත් වර්ගත් භාවිත වුණා. දහවල් ආහාර වේලට බත් සමඟ ව්‍යාංජන ලෙස වට්ටක්කා, වම්බටු, තලනබටු, තිබ්බටු, කරවිල, මෑ කරල්, බණ්ඩක්කා, කැකිරි වැනි දෑ බහුලව යොදාගන්නවා. මේ සෑම එළවළුවකටම ආවේණික ගුණ තිබෙනවා වගේම ඒ ඒ එළවලු වලින් මිනිස් සිරුරේ ඇතිවීමට ඉඩ තිබෙන විවිධාකාරයේ ලෙඩරෝගවල හේතුකාරක ඉවත්කරලීමේ හැකියාව පවතිනවා. දේශීය ආහාර සංස්කෘතියේ කොස් ගසට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කොස්, කොස් ඇට, පොළොස් ආදී දෑද ව්‍යාංජන ලෙස ඉදිරියෙන්ම සිටින ආහාර වර්ගයි. විශේෂයෙන්ම කිරිකොස් ව්‍යාංජනය, කොස්ඇට කළුපොල් මාළුව, කොස් නියඹලාව, කොස් මැල්ලුම ආදිය දහවල් ආහාර වේල රසවත් කරන ගුණදායක බවෙන් අනූන ව්‍යාංජනයන් වෙනවා. විශේෂයෙන්ම පොළොස් ව්‍යාංජනය ඉතාම රසවත් මෙන්ම ගුණවත් එකක් නිසා සිරුරට ලේ වඩවන ආහාරයක් ලෙස දේශීය ආහාර වට්ටෝරුවල ඉතාම ජනප්‍රියයි. ඊට අමතරව ධාන්‍ය විශේෂ වන මුං, කවුපි, කොල්ලු, මෙනේරි දෑ , මඤ්ඤොක්කා, බතල, කිරිඅල, හිඟුරල වැනි අල වර්ගත් ප්‍රධාන ආහාර වේල වශයෙන් වගේම ව්‍යාංජන ලෙස සකසාද ආහාරයට ගන්නට හැකියාව තිබෙනවා.

දේශීය ආහාර සංස්කෘතියේ මස් මාංශ වලට වැඩි ඉඩකඩක් ලබානොදුන්නත්, වැව්මාලු, වෙල්මාලු වැනි මසුන් වර්ගත්, මුවමස්, ගෝනමස්, වල් ඌරුමස් වැනි මස් වර්ගත් ව්‍යාංජන ආකාරයට සකසා ආහාර වේලට එක්කරගන්නවා.මෑත ඉතිහාසයේ සිට කුකුළුමස් සහ තාරාමස් වැනි මස් වර්ගත් මුහුදු මාළුත් ආහාර වේල රසවත් කරන්න යොදාගන්නවා.

මේ ආහාර වේල් අතර අතුරු පස ලෙස බොහෝවිට යොදාගැනෙන්නේ පළතුරුයි. අඹ, අන්නාසි, දෙළුම්, දොඩම් ආදී පළතුරු, වරකා, වැල, අනෝදා, දං වර්ගත් අතුරුපස ලෙස යොදාගන්නවා. පළතුරු හැරුණුකොට මුදවපු කිරි වැලි හකුරු හෝ කිතුල් පැණි සමඟ ආහාරයට ගන්නවා. සවස් කාලයේ හෝ උදෑසන තේ වේල් වෙනුවෙන් කුරක්කන් හැලප, වණ්ඩු, පැණි ආප්ප, වැලිතලප, අග්ගලා සහ ඇතැම්විට කැවුම්, කොකිස්, ආස්මී ආදී කෙටි ආහාර වර්ග වැඩිපුර පරිභෝජනය වෙනවා.

මේ සෑම ආහාරයක්ම එකිනෙකට වෙනස් ගුණ වලින් යුක්තයි කියල අපි කලින් සඳහන් කළා. ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතියේ තියෙන විශේෂත්වයත් ඒකමයි. අනෙක් කාරණාව වෙන්නේ මේ ආහාර එක්ක සම්බන්ධවෙලා තියෙන ආහාර පුරුදු වල තියෙන මනා සංවිධානාත්මක බවයි.එක ආහාරයකින් සිදුවෙන් යම්කිසි ශාරීරික අපහසුතාවයක් හෝ සුළු රෝගාබාධයක් මැඩපවත්වාගන්නට ඒ සමඟ වෙනත් ආහාරයක් හෝ කිහිපයක් යුගල් හෝ වට්ටෝරු කිරීම මෙහිදී සිදුවෙනවා.

උදාහරණයක් වශයෙන් කොස් වැනි තරමක් බර වැඩි ආහාරයක් පිළියෙල කරද්දී එය ජීර්ණය වීමට පහසු වන සේ අඹ ව්‍යාංජනයක් බොහෝවිට සැකසෙනවා. එහෙමත් නැත්තම් අතුරුපසට හෝ ඉඳුණු අඹ ආහාරය පිණිස ලබාදෙනවා. දෙල්, බලමාළු හෝ වෙනත් උෂ්ණ සහිත ආහාරයක් පිළියෙල කරන විට පොල් හෝ පොල් සම්බෝල ඒ ආහාර වට්ටෝරුවට ඇතුලත් වීමත් බොහෝවිට දේශීය ආහාර සංස්කෘතියේ දකින්නට පුළුවන් දෙයක්. තවත් අවස්ථාවල ආහාර වර්ග පිළියෙල කරද්දී, විශේෂයෙන් මස් මාංශ වර්ග පිළියෙල කරද්දී ඉඟුරු වැනි දෑ කුළුබඩු ලෙස යොදාගැනීමෙන් උදරයේ අපහසුතා ඇතිවීමේ හැකියාව වැළැක්වෙනවා.වැල වරකා වැනි දෑ අතුරු පස ලෙස ආහාරය පිණිස ගන්නා අවස්ථාවල ගම්මිරිස් ලුණු කුඩු ආදිය ඉසීමෙන් ඒවා වඩාත් රසවත් වෙනවා වගේම උදරයේ අපහසුතා ඇතිවීමත් වැළැක්වෙනවා.

අනෙක් කාරණාව වන්නේ  ආහාර පරිරක්ෂක සහ කල්තබාගැනීමේ ක්‍රම පවා ස්වභාවිකවම නිර්මාණය කරගත්තු ඒවා වීම. ඒවායින් ආහාරයේ ගුණයේ අඩුවක් නොවී ගුණය සහ රසය තවත් වැඩිකරවීම සිදුවෙනවා. ආහාර පිසීමේදී පවා ලෝහ භාජන වෙනුවට මැටි භාජන භාවිත කිරීමෙන් රසායනික ප්‍රතික්‍රියා මගින් ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට කටයුතු කරනවා.ඊට අමතරව වැඩි රසයක් ආහාරයට ලබාදීමටත් එමගින් පුළුවන්කම ලැබෙනවා.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය කෙටියෙන් කතාබහ කළ නොහැකි තරම් පුළුල් වපසරියක පැතිරිලා තියෙන ඉතාම පොහොසත් එකක් බව නැවතත් මතක් කරන්නට අවශ්‍යයි. හැකිතාක දේශීය ආහාර රටාවට සහ ආහාර පුරුදු වලට අනුකූලව තමන්ගේ ආහාරපාන වර්ග සකසාගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න මෙන්ම සුවදායී ජීවිතයක් උරුමකරගන්න පුළුවන්.